Wednesday, June 17, 2015
අන්තිම සිංදුව
තදටම ඒසී තිබුනත් මුහුණු දිලිසෙනව දාඩිය වලින්. කට්ටිය එකා දෙන්නා හිමීට එහෙට මෙහෙට වෙන්න පටන් ගන්නවා. තවමත් ලයිට් ඒ තාලෙටම නිවෙනවා පත්තු වෙනවා. එයාලගෙ අන්තිම සිංදුව ඇහෙන බව හැමෝටම තේරෙනවා. එහෙම වෙන්නෙ මෙතනට එන අයට ඒක ඉබේම දැනෙනෙ නිසයි. සුපුරුදු විදියටම කට්ටිය නටන අන්තිම සිංදුවෙ ඉතිරි කාලය තත්පර දශම ගානක් දක්වා මට ප්ලේයර් එකෙන් පේනවා. එතකොට වෙනදා වාගෙම මගේ අත පුරුද්දෙන් වගේ සීඩී පැක් එකේ එක තැනකට ගිහින් සීඩී එකක් එලියට ගන්නවා. ඒක අනිත් ප්ලේයර් එකට ඇතුල් කරන ගමන් මගේ ඇස් කැරකිලා ගිහිල්ලා එක්තරා මේසයක් ලඟ නතර වෙනවා, අන්තිම සිංදුව දාන්න කලින්.
එතන ඔලුව නමා ගෙන එක්කෙනෙක් තනියම ඉන්නවා. කොන්ඩෙන් මූන වැහිල උනාට මට එයාව අඳුනගන්න පුලුවන්. මේසෙ උඩ බියර් බෝතලයයි සිගරැට් පැකට් එකයි. වීදුරුවේ ඇති බියර් වලින් ටිකක් අඩුවෙලා තියෙන්නෙ බීලද එහෙම නැත්නම් එතන කලින් තිබ්බ පෙන පිඬු නිසාද කියල හිතාගන්න බැහැ. රතු පාටට පෙනෙන නිසා සිගරැට් එකනම් පත්තු වෙලා කියල පේනවා.
එයා දන්නව මම ඊලඟට සිංදුවක් දාන්නෙ එයා වෙනුවෙන් කියලා. ඒක දැන් කාලෙක ඉඳන් වෙන දෙයක්. හැමදාම ඉවර වෙන්නෙ එකම සිංදුවෙන්. එහෙම සිංදුවක් දැම්ම කියල මෙතන මැනේජ්මන්ට් එකටත් ඒක අවුලක් නැහැ. මේ ඒ අන්තිම සිංදුව.
අන්තිම සිංදුව දාල මම වම් පැත්ත බලනවා. ඒ බැල්ම අල්ලගන්න මගේ සහායකයා ඉන්නවා. මම මට වෙන්වුනු ඉඩෙන් එහාට වෙලා බැහැල යන ගමන් මට පේනවා සහායකයා එතන අස් පස් කරන්න සූදානම් වෙනවා. දැන් අර සිංදුව පටන් අරගෙන. මම අරය ඉන්න මේසෙ ලඟට ගිහිල්ල සිගරැට් එකක් හිමීට අරගන්නවා. එයාට ඒකෙ වගක් නැහැ. එයා දැන් ඉන්නෙ අන්තිම සිංදුවට සම වැදිලා. මම දොර ලඟට යනවා. එතන ඉන්න කෙනෙක් මට ඒක පත්තු කරලා දෙනවා. මම දොර ඇරගෙන එලියට බැහැලා එලියේ කට්ටිය එහෙ මෙහෙ වෙමින් සමුගන්නා දිහා බලාගෙන ඉන්නවා. තද සීතලක ඉඳලා ආපු නිසා පොඩි රස්නයක් දැනෙනවා.
සිංදුව ඉවරයි කියල ඉවෙන් වගෙ දැනෙනකොට මම ආයෙමත් ඇතුලට යනවා. දැන් ඇතුලෙ සද්ද නැහැ. දෙතුන් දෙනෙක් හිනාවෙනවා. අරය ඔලුව උස්සල මං දිහා බලල ගොඩාක් ස්තූතියි කියල වෙනදා වගේම හිනා වෙනවා. මමත් වෙනදා දාන පොඩි හිනාව දාල මගෙ බඩු තියෙන තැනට යනවා.
එක දවසක හොඳ වැදගත් පෙනුම තියෙන ගර්ල් කෙනෙක් අන්තිම සිංදුව යනකොට කියනව තවත් එක සිංදුවක් දාන්න කියල. මම ඒක ගනන් ගත්තෙ නැහැ ඒත් ඇහුව මොකද්ද ඕනෙ සිංදුව කියල. එයා කියනවා ටු ද මූන් ඇන්ඩ් බැක් කියල. ඒක මේ වෙලාවට හරියන්නෙ නැහැනෙ කියල මම කිව්වම එයා කමක් නැහැ කියල ආපහු ගිහින් ඉඳගන්නවා. එදත් ඒ මේසෙ උඩ බියර් එකයි සිගරැට් පැකට් එකයි තිබුනා. ඊලඟ දවසෙත් අන්තිමට ඇවිත් ඒ සිංදුව එක පාරක් දාන්න කියල ඉල්ලනවා. මම මොකුත් කියන්නෙ නැහැ. ක්ලබ් එකේ ලොක්කෙක් මේක දැකල ඇවිත් මගෙන් අහනවා එයා මොකද කියන්නෙ කියලා. මම කියනවා මෙහෙම සිංදුවක් දාන්න කියල ඉල්ලනවා කියලා. කමක් නැහැ දාන්න කියලා ලොක්කා ආපහු හැරිලා යනවා. මම ඉල්ලපු සිංදුව අන්තිම සිංදුව හැටියට දාලා බලාගෙන ඉන්නවා. එයා ඔලුව පාතට හරවාගෙන සිංදුව අහනවා. මම සිංදුව ඉවරවෙනකම්ම බලාගෙන ඉන්නවා. සිංදුව ඉවරවෙලා එයා ඔලුව උස්සල මං දිහා බලනවා. එතකොට මම දකිනවා එයාගෙ ඇස් රතුවෙලා කියලා. ඊට පස්සෙ එයා සිවිලිම දිහා බලාගෙන ඉන්නවා. මම සහායකයා දිහා බලන ගමන් එතනින් එලියට යනවා.
පහුවෙනිදා අන්තිම හරියෙදි මම අර මේසෙ දිහා බැලුවත් එයා හිටියෙ නැහැ. හැබැයි ඊලඟ දවසේ ආයෙමත් ඇවිත් ටු ද මූන් ඇන්ඩ් බැක් දාන්න කියල කියනවා. මම ක්ලබ් එකේ ලොක්ක දිහා බලනවා. එයා මට ඔලුව හොලවනවා. මම අන්තිම සිංදුව ආයෙමත් දාලා එයා දිහාම බලාගෙන ඉන්නවා. එයා හොඳට සිංදුව අහනවා. සිංදුව ඉවර උනාම ඒ ඇස් වෙනද වගේම රතු වෙලා. උඩ බලාගෙන කල්පනා කරන එයා ලඟින් මම යන්න යනකොට මට කතා කරනවා. මමත් එතනින් ඉඳගන්නවා.
මට පවන් ව හම්බ උනේ ක්ලාස් එන ගමන්. අපි හම්බ උනේ බම්බලපිටියෙ යුනිටි ප්ලාසා එක ඉස්සරහ බස් හෝල්ට් එකේදි. අපිට කතා බහ කරන්න එච්චර කාලයක් ලැබෙන්නෙ නැහැ. සමහර දවස්වලට අපි කේ එෆ් සී එකෙන් මොනව හරි ගන්න ගමන් කතා කරන්නෙ. ඒ දවස්වල් බුරියානි එක රුපියල් අනූවයි. එක දවසක් මම පවන් එනකම් එතන බලාගෙන හිටියා. ඒත් එයා ආවෙ නැහැ. අපිට මොබයිල් ෆෝන් තිබුනෙත් නැහැ. ඊලඟ දවසෙත් එහෙමමමයි. එයා ආවෙ නැහැ. මම බලාගෙන හිටියා. එයාගෙ යාලුවෙක් ආවා. පවන් වෙන රටකට ගිහිල්ලා. පවන්ට හොඳට සිංදු කියන්න පුලුවන්. එයා හැමදාම මට ඔය සිංදුව කියනවා. මට එයාව අමතක කරන්න බැහැ. මම ගොඩාක් දුකින් කාලය ගෙව්වෙ. දුක නැතිකරගන්න හැටි කියල දෙන්න ඕන තරම් අය හිටියා. මම ඒව ට්‍රයි කරන්න ගියා. ඒකෙන් උනේ මගෙ දුක තවත් වැඩි වුන එකයි. මට වෙන කෙනෙකුට ආදරය කරන්න බැහැ. මිනිස්සු මාව තලල දානවා. එතකොට මම ජීවත් වෙනවා. මම එයාව මීට් වුනු කේ එෆ් සී එකට අදත් යනවා. ඒ විදියටම බලාගෙන ඉන්නවා. හැබැයි එයා වෙනුවට වෙන අය ඇවිත් මාව එක්කගෙන යනවා. මොනව උනත් මම මේ වෙලාවට මෙතනට එනවා.
මම එයාගෙන් සිගරැට් එකක් අරගෙන එතනින් නැගිටලා යනවා.
පස්සෙ මම එතනින් අයින් වෙලා වෙන තැනකට යනවා. දවසක මට නුපුරුදු ඊමේල් එකක් තිබුනා. මම අර සිංදුව ඉල්ලපු කෙනා. මම දැන් ඉන්නෙ කැනඩාවේ. ටු ද මූන් ඇන්ඩ් බැක් මම දැන් අහන්නෙ නැහැ. මම වෙන කෙනෙකුට ආදරය කරන්නෙත් නැහැ. එහෙම කරන්න මට බැහැ. ජීවිතේම සම්පූර්ණයෙන්ම වෙනස් දැන්. චොකලට් කොම්පැනි එකක මම වැඩ කරන්නෙ. ඔයාගෙ විස්තර හොයාගත්තෙ ෆේස්බුක් වලින්. මම ආයෙ ලංකාවට එන්නෙ නැහැ. ස්තූතියි මට කරපු උදව් වලට.
මම ඒකට උත්තර දුන්නෙ නැහැ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment